2030 වන විට පාපන්දු ලෝක කුසලානයට යන්න සැලසුමක් ඉතිහාසේ ප්‍රථමවරට ලෝක කුසලානයක් ඇහැට දකින්න අපට අවස්තාව දී ඇත්තේ කොකාකෝලා

0
476

බණ්ඩාරනායක අනුස්මරණ, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (24) දින පැවැති FIFA ලෝක කුසලානය ප්‍රථම වතාවට ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙමින් කළ කතාව.

අද ප්‍රථම අවස්ථාවට FIFA ලෝක පාපන්දු කුසලානය දකින්නට ශ්‍රී ලාංකික අපට අවස්ථාව හිමිවී තිබෙනවා. මෙතෙක් කල් මෙම කුසලානය අප දකින්නට ලැබුණේ රූපවාහිනියෙන්. නමුත් අද අපේ ඇස් ඉදිරිපිට හැබැයින්ම දැකගැනීමට හැකිවී තිබෙනවා.

අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද? මෙම අවස්ථාව අපිට ලබාදුන්නේ FIFA සංවිධානය සහ කෝකා කෝලා සමාගමයි. එම නිසා ඒ ආයතන දෙකටම අපි ස්තූතිවන්ත විය යුතුයි. මෙම කුසලානය ලොව පුරා ගෙන යන ගමනේදී එය ප්‍රදර්ශනය කිරීම ශ්‍රි ලංකාවෙන් ආරම්භ කිරීම අපි අගය කළ යුතු අතරම, එයින් අප ශක්තිමත් විය යුතුයි. පාපන්දු ක්‍රීඩාව අද පවතින තත්ත්වයට වඩා දියුණු කිරීමට අපි ඇප කැපවී ක්‍රියා කළ යුතුව තිබෙනවා.

ක්‍රීඩා ඇමැතිතුමාත්, පාපන්දු සංගමයත්, ක්‍රීඩා අමාත්‍යංශයත් දැන් 2030 ඉලක්ක කොට ගෙන පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා අපේ සහයෝගය ඒ අයට ලැබෙනවා. ඒ සහයෝගය සමගම අපි ඉදිරියට යා යුතුයි. මේ කුසලානය කෙටි කාලයකට හෝ අපට ලබාදීම අපි ධෛර්යමත් කිරීමක් හැටියට මා සලකනවා. ඒවගේම පාසල් ශිෂ්‍යයයින් වැඩි පිරිසක් එම ක්‍රීඩාවට සම්බන්ධ කර ගත යුතුව තිබෙනවා.

FIFA කුසලානය ලංකාවට ගෙන ඒමෙන් මෙරට පාපන්දු ක්‍රීඩාව තවදුරටත් වැඩිදියුණු වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් ප්‍රමුඛ FIFA සමාගමේ නියෝජිතයින් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සහභාගී වී සිටියහ.

 

LEAVE A REPLY