ලෝකයේම ජනප්‍රිය වූ ජිවිත බේරාගත් පුංචි පාපන්දු කණ්ඩායමට ලෝක කුසලානය බලන්න වරම්. මෙහෙයුම, අනතුර වූ ආකාරය හා දින 17 ක් ජිවිත බේරාගත් කතාව

0
5982

තායිලන්තයේ තම් ලුවාලෙන් සංකීර්ණයේ සිරවූ සියළු දෙනා පිටතට ගත් බව තායිලන්ත නාවික භටයින් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා. ඒ අනුව දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු මේවන විට රෝහල්ගතව සිටින බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර කිමිදුම්කරුවන් සහ තායි නාවික කිමිදුම් භටයන්ගේ සහභාගීත්වයෙන් පෙරේදා උදෑසන මෙම දැවැන්ත මෙහෙයුම ආරම්භ වූවා. එහි දී පළමු දිනයේ දී දරුවන් සිව්දෙනෙකුත් දෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී තවත් දරුවන් සිව්දෙනෙකු වශයෙන් දරුවන් 8 දෙනෙකු පිටතට ගැනීමට පළමු දින දෙකෙහි දී ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් වූවා.

අද උදෑසන මෙහෙයුම තෙවැනි දිනටත් ආරම්භ වන විට තවත් දරුවන් සිව්දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ලෙන තුළ සිරවී සිටියා. ඒ අනුව අද දින කිමිදුම් භටයන් විසින් එක් දරුවා බැගින් පිටතට ගත් අතර දවස අවසන් වීමට සුළු මොහොතක්ව තිබියදී දරුවන්ගේ පාපන්දු පුහුණුකරු ද පිටතට ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් වූවා. ඒ ඔවුන් ලෙන තුළ සිර වී දින 17කට පසුවයි.

පිටතටගත් දරුවන්ගේ තත්ත්වය
ලෙනෙන් පිටතට ගත් දරුවන් 12 දෙනා සහ පාපන්දු පුහුණුකරු මේවන විට රෝහල්ගත කර තිබෙනවා. ඔවුන් මතුපිටට පැමිණි මොහොතේ දීම විශේෂ හෙලිකොප්ටර් මගින් Prachanukroh නමැති රෝහල වෙත රැගෙන ගියා.

එම රෝහලෙහි මෙම පාපන්දු කණ්ඩායම වෙනුවෙන්ම විශේෂ ඒකකයක් සකසා ඇති අතර ගෙන එන දරුවන් සිටිය හැකි ඕනෑම තත්ත්වයකට විශේෂ ප්‍රතිකාර ලබාදීමේ සූදානමින් එය සකස් කර තිබෙනවා.

සිදුවූයේ කුමක්ද?

තම් ලුවාං යනු තායිලන්තයේ පිහිටි දීර්ඝතම ලෙන් සංකීර්ණයක්වන අතර එය කිලෝමීටර 10ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර පවතින බව වාර්තා වෙනවා. දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ලෙන් සංකීර්ණය වෙත ඇතුළු වූයේ පසුගිය ජුනි මාසයේ 23වැනි දායි.

එම අවස්ථාවේ දී ලෙන් සංකීර්ණය වියළි තත්ත්වයෙන් තිබූ හෙයින් ඔවුන් එහි ඈතට ගමන් කර තිබුණා. නමුත් අනපේක්ෂිත ලෙස ඔවුන් ලෙන තුළ සිටිය දී දැඩි වර්ෂාව පතිත වීමෙන් ලෙන තුළට ජලය ගලා යාම නිසා එය ජලයෙන් පිරී ගියා.

මේ හේතුවෙන් පාපන්දු කණ්ඩායම ලෙනෙහි කෙළවරක සිරවූ අතර ඔවුන් අතුරුදන් වීමෙන් පසු ඇරඹුණු සෝදිසි මෙහෙයුම් දින 10ක පමණ කාලයක් ක්‍රියාත්මක කිරීමෙන් පසුවයි දරුවන් සහ පුහුණුකරු ජීවතුන් අතර සිටින බවට තහවුරු වූයේ.

එතැන් සිට ඔවුන්ගේ ජීවිත රැක ගැනීමට තායි බලධාරීන් මහත් වෙහෙසක් ගත් අතර ජාත්‍යන්තරය ද මේ සඳහා මැදිහත් වූවා. ලෙන අභ්‍යන්තරයේ සිරව සිටි ඔවුන් හට ආහාර සහ ඔක්සිජන් සැපයීමද අනතුරුදායක කාර්යයක් වූ අතර දරුවන් වෙත එසේ ඔක්සිජන් සපයා යළි පැමිණෙමින් සිටි තායි නාවික කිමිදුම් භටයෙකු හට ජීවිතයට සමුදීමට පවා සිදු වූවා.

විශාල පොම්ප යොදා ලෙනෙහි පිරී තිබූ ඉවත් කිරීම ද ඇරඹුණු අතර ජලය බැස යාමෙන් පසු දරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරු පිටතට ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සැළසුම් කළත් ප්‍රදේශයට ඇදහැළුණු දැඩි වර්ෂාවත් සමග නැවත නැවතත් ලෙන තුළට ජලය පිරීම සිදුවූවා.

ලොවම බලා සිටි අවසන් මෙහෙයුම

තත්ත්වය වඩාත් භයානක අවස්ථාවකට පත් වූයේ ලෙන ආශ්‍රිත ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් සිදුවනු ඇතිබවට වූ කාලගුණික අනතුරු ඇඟවීමත් සමගයි.
ඒ වන විටත් වර්ෂාකාලය ඇරඹී තිබූ හෙයින් වර්ෂාව තවදුරටත් වර්ධනය වුවහොත් දරුවන්ගේ ජීවිතය පිළිබඳව අවිනිෂ්චිත තත්ත්වයක් වර්ධනය වෙමින් පැවතුණා.

දරුවන් සිටින ස්ථානයට ඉහළින් පොළව හාරා ඔවුන්ව පිටතට ගැනීම පිළිබඳව ප්‍රථමයෙන් අවධානය යොමු වුවත් එම ස්ථානයට ඉහළින් පිහිටා ඇත්තේ කිලෝමීටරයක පමණ උස විශාල කන්දක් වීම මත ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇති.

මේ හේතුවෙන් හැකි තාක් ඉක්මනින් දරුවන් ගලවා ගැනීමේ අවසන් මෙහෙයුම ආරම්භ කිරීමට බලධාරීන් තීරණය කළ අතර ජූලි 8 වැනි දා තායිලන්ත වේලාවෙන් පෙරවරු 10ට එය ආරම්භ වූයේ ලෝකයේම අවධානය මධ්‍යයේයි.

ජාත්‍යන්තර කිමිදුම්කරුවන් 13ක්, තායි නාවික හමුදා සීල් භටයන් 5ක් මේ සඳහා ලෙන් සංකීර්ණය වෙත ඇතුළු වූවා.

මෙහෙයුම භයානක වූයේ ඇයි?

මෙම මෙහෙයුම මෑත ඉතිහාසයේ ලොව තුළ සිදුවූ භයානකම ජීවිත ගලවාගැනීමේ මෙහෙයුමක් ලෙස හැඳින්විය හැකියි.ජලය පිරුණු ලෙන් තුළ කිමිදීම (Cave Diving) සැළකෙන්නේ ලොව වඩාත් භයානක ක්‍රියාදාමයක් ලෙසයි.

කෙතරම් පිහිනීමේ සහ කිමිදීමේ හැකියාවක් ඇති පුද්ගලයෙකුට වුව ද ලෙන් තුළ කිමිදීමේ විශේෂ පළපුරුද්දක් නොමැති නම් ඔහු ජීවිතක්ෂයට පත් වීමේ හැකියාව ඉතා අධික බව විශේෂඥයින් සඳහන් කළා.

එමෙන්ම වඩාත් සැළකිය යුතු කාරණාවක් වන්නේ ලෙන තුළ සිරව සිටින දරුවන් 12 දෙනාටම පිහිනීමේ හැකියාවක් නොමැති වීමයි.ඔවුන්ව බේරාගැනීමට නම් අනිවාර්යයෙන් කිමිදීමට සිදුවන නිසා ඔවුන් සිරව සිටින ස්ථානයේදීම දරුවන් හට කිමිදීමේ සහ පිහිනීමේ පාඩම් ඉගැන්වීමට ක්‍රියා කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

එමෙන්ම දරුවන් සිටින ස්ථානයට ලඟා වීමේ දී ඉතා පටු කුහර තුළින් රිංගා යාමට සිදු වූ බව ද වාර්තා වෙනවා.තවත් භයානක කරුණක් වන්නේ ලෙන තුළ වූ ජලයෙහි කිමිදෙන පුද්ගලයින්ට අවට වූ කිසිවක් නොපෙනීමයි.

ආලෝක ප්‍රභව භාවිත කළත් මෙම ජලය අධික මඩ තත්ත්වයෙන් යුක්ත වීම නිසා මෙලෙස කිසිවක් නොපෙනෙන බව පැවසෙනවා.තව ද ලෙන තුළ ඇතැම් ස්ථානවල ජලය ප්‍රචණ්ඩකාරී බවකින් යුතු බව වාර්තාවන අතර මෙම තත්ත්ව යටතේ කෙටි දුරක් පවා ගමන් කිරීමට මෙම කණ්ඩායමට පැය ගණනාවක් ගත වූවා.

කිමිදීම පමණක් නොව ඇතැම් ස්ථානවල දී කඳු නැගීම්, ප්‍රපාත තරණය වැනි දෑ ද මොවුන්ට කිරීමට සිදුවූවා.දරුවන් සිරව සිටින ස්ථානයේ සිට ලෙන් පිවිසුම දක්වා රැහැණක් ඇදීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් ක්‍රියා කළ අතර එය මෙම මෙහෙයුමට මහත් රුකුළක් වූ බව සඳහන්.

එමෙන්ම ලෙනෙහි ස්ථාන කිහිපයක ඔක්සිජන් ටැංකි ස්ථාපනය කර එම ස්ථානවල දී ඔක්සිජන් ටැංකි මාරු කිරීම ද සිදුකෙරුණා.කිමිදීමේ දී පිටුපස එල්ලාගන්නා ඔක්සිජන් ටැංකි අධික බරකින් යුතු වීම නිසා පිටතට ගන්නා දරුවන්ගේ ඔක්සිජන් ටැංකි ද ජීවිතාරක්ෂක කිමිදුම්කරුවන් විසින් උසුළාගෙන ආ බවයි වාර්තා වන්නේ.

තායි ජනතාවගේ සහය

මෙම මෙහෙයුමට සිය සහය පළ කිරීම සඳහා සිය ගණනක් වූ සාමාන්‍ය ජනතාව ද ලෙන අවට ප්‍රදේශයට පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.එමෙන්ම ඔවුන්ගෙන් ඇතැමෙකු දරුවන්ගේ ආරක්ෂාව පතා ආගමික වතාවත්වල ද නිරත වූ බව වාර්තා වෙනවා.

තව ද මෙම මෙහෙයුම සඳහා දෙස් විදෙස් කණ්ඩායම් සැළකිය යුතු ප්‍රමාණයක් එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් සඳහා පහසුකම් සහ ආහාර පාන ආදිය ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ලබා දීමට ජනතාව ඉදිරිපත් වී සිටියා.

එසේම රුසියාවෙන් වාර්තා වුයේ 15 ට පෙර මේ පාපන්දු කණ්ඩායම බෙරාගතහොත් අවසන් තරගය නැරබීමට ආරාධනා කරන බවයි. දැන් ඒ අවස්තාව ඔවුන්ට ලැබෙනු ඇති

පාපන්දු පුහුණු කරු දරුවන්ට බාවනා පුහුණු කර රැකගත් විදිහිය බලන්න ක්ලික් කරන්න

LEAVE A REPLY