මැතිව්ස් 20 20 සංචිතයෙන් ඉවත් කිරීමත් සමග මින් ඉදිරියට පන්දු යැවීමට තීරණය කරයි

0
832

ඕස්ට්‍රේලියාවේදී ලබන වසරේ (2020) සැප්තැම්බර් මස ආරම්භ වන ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වන පරිදි ඉදිරි තරග වලදී තමා පන්දු යවන බවට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඔහුව ඉවත් කිරීමෙන් අනතුරුව මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට (SLC) මේ බව ප්‍රකාශ කර ඇත. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසන්නේ මැතිව්ස්ගේ දක්ෂතා පිතිකරුවෙකු වශයෙන් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් නොවන බවයි.

විස්සයි20 තරග ස්වභාවය අනුව වේගයෙන් ලකුණු අතරට පැමිණීම, කඩුලු අතර ධාවනය, පිටියේ පන්දු යැවීමේ සහ රැකීමේ වේගය වැනි සාධකයන් එම සංචිතයට ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීමේදී අනුගමනය කෙරෙන අතර, එහිදී පිතිකරණයට අමතරව පන්දු යැවීමට ඇති හැකියාවද තීරණාත්මකව බලපාන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.

කලක් ශ්‍රී ලංකාව සතු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් සැලකුණු මැතිව්ස් පාදයේ අබාධයකට ලක් වීමෙන් අනතුරුව පන්දු යැවීමෙන් වැළකී සිටියේය. පසුගිය ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පැවති එක් තරගයකදී ඔහු දීර්ඝ කාලයකට පසුව පන්දු යැවීමට කටයුතු කරනු ලැබිණි.

එළබෙන ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව තවත් විස්සයි20 තරග 20 කටත් අඩු සංඛ්‍යාවකට සහභාගි වීමට නියමිතය. එසේම ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකටත් ඉතිහාසයේ ප්‍රථම වරට ලංකාවට සහබාගි වීමට සිදුව ඇත.

LEAVE A REPLY