මමයි එදා NCC හිටපු දුර්වලම ක්‍රීඩකයා. මම ලංකාවට ගහන්න ඕන කිව්වම හිනාවුනා – සංගාගේ ක්‍රිකට් ජීවිතය

0
180

ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය වන එංගලන්තයේ මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති ධුරයෙන් පිදුම් ලත් ලෝක පූජිත ක්‍රීඩක කුමාර් සංගක්කාර හට තුති පිදීමේ උත්සවයක් පසුගිය දා පැවැත්වුණා. ඒ කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී. සංගක්කාරගේ ක්‍රීඩා සමාජය වුණු NCC ක්‍රීඩා සමාජයේ දී පැවැත්වුණු මේ උත්සවයේ දී සංගක්කාර සුන්දර මතක කිහිපයක් නැවත අවදි කළා.

“මේ උත්සවය මට ඉතා විශේෂ උත්සවයක්. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ මගේ ගෙදර බඳු NCC ක්‍රීඩා සමාජය මේ උත්සවය සංවිධානය කර තිබීමයි” සංගා සිය හඬ අවදි කළා.

“අශෝක ද සිල්වා මහතා හමු වූ දිනයේ සිට මම මේ ක්‍රීඩා සමාජයේ කොටසක් වුණා.1997 වසරේ මම NCC ගේට්ටුවෙන් ඇතුළට පැමිණි දා සිට අද දක්වාම NCC ක්‍රීඩා සමාජය ඉතා විශිෂ්ට ක්‍රීඩා සමාජයක් ලෙසන්ම පැවතුණා. ඔබ ඔබේ ක්‍රීඩා ජීවිතයේ හෝ සාමාන්‍ය පවුල් ජීවිතයේ කෙතරම් දුරක් ගියත්, NCC ක්‍රීඩා සමාජය හා ඔබේ ඇති බැඳීම බිඳක් වත් වියැකී යන්නේ නැහැ.”

“ගොඩක් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් මේ NCC භූමියෙන් බිහි වුනා. මේ ක්‍රීඩාගාරයට, මේ පිට්ටනියට ජාත්‍යන්තර මට්ටමේ ඉතා ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගේ පහස ලැබුණා. අරවින්ද ද සිල්වා, මම හිතන්නේ ඔහු තමයි ලංකාව බිහි කළ හොඳම පිතිකරුවා, මගේ ලොව හොඳම පිතිකරුවන් පස් දෙනාගේ ලැයිස්තුවෙත් ඔහු ඉන්නවා, හෂාන් තිලකරත්න, රසල් ආනල්ඩ්, රංගන හේරත්, සජීව සිල්වා වගේ විශිෂ්ට ක්‍රීඩකයින් රාශියක් මෙහි සිටියා. විවිධ හේතූන් රැසක් නිසා ඔවුන් මගේ ජීවිතයේම කොටසක් වුනා.”

“අසේල පතිරණ, අනිල් රිදීගම්මනගෙදර, සංජිව ජයරත්න, චරින්ද ප්‍රනාන්දු හා රංගන හේරත් තමයි මෙහි මගේ හොඳම යාළුවන් වුනේ. මම රංගන හේරත්ව වයස අවුරුදු 13 සිට දන්නවා. අපි හරිම දඟකාර කල්ලියක් වුනා. පුහුණුවීම් ඉවර වෙලා 176 බස් එකේ නුගේගොඩට යන ගමන් අතර මඟ තිබුණු කඩවලින් හොඳ හැටි සප්පායම් වෙන්නටත් අපි ඉඳ හිට හුරු වෙලා හිටියා.” සංගා සුන්දර මතකයන් අවදි කළා.

“මම තමයි මෙහි හිටි යොවුන් ක්‍රීඩකයින්ගෙන් දක්ෂතාවය අඩුම ක්‍රීඩකයා වුනේ. අනිල්, අසේල හා සංජිව ඔවුන් තමයි NCC හි යොවුන් තරු වුනේ. ඔවුන් ගොඩක් වේලාවට තරග ආරම්භ කරද්දී මම හිටියේ වතුර අදිමින් බංකුවේ. මට අවස්ථාවක් ලැබුණේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සංචාරයකට ගිය අවස්ථාවක දී පමණයි.“

“මට මතකයි වරක් අපි එකිනෙකා හා කතා කළා අනාගතයේ මොකද කරන්නේ කියලා. හැමෝම කිව්වා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඕන කියලා. අසේල කිව්වා ඔහුට පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්න ඕන කියල, රිදීත් ඒ කතාව කිව්වා, සංජිව ජයරත්නට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ලොව ඕනෑම කණ්ඩයමකට ක්‍රීඩා කරන්න හැකියාව තිබුණා.

ඔවුන් ඇහුවා මගෙන් මම මොනවද කරන්න කැමති කියලා. මමත් කිව්වා මාත් කැමතියි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න කියලා. ඔවුන් මට සිනා සුනා. මම ඉඳ හිට තමයි NCC කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ, මම දක්ෂතාව අතින් ඔවුන් අසලකවත් නැහැ. ඔවුන් ඇත්තටම සිතුවා මම මේ ගැන නැවත සිතා බැලිය යුතුයි කියලා.”

“ඔබ දැක්කා මම කඩුලු රකිද්දී ප්‍රතිවාදී ක්‍රීඩකයින් මානසිකව වට්ටන්නට උත්සහ කරන හැටි (Sledging). මම කිව යුතුයි මම එය ඉගෙන ගත්තේ රසල් ආනල්ඩ්ගෙන්.” සංගා පැවසුවේ රැස්ව සිටි සියලු දෙනා සිනහ සයුරේ ගිල්වමින්.

“රසල් ආනල්ඩ් හා නවීඩ් නවාස් ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසෙන්නට මාන බලමින් සිටියා. ඒ 1996 – 99 කාලය නිසා ඔවුන්ට එය ඉතා අපහසු වුනා. ඒ කාලයේ සිටියේ එදා මෙදා තුර ශ්‍රී ලංකාවට සිටි හොඳම කණ්ඩායම වීම ඊට හේතුවයි. ඔවුන් දෙදෙනා A කණ්ඩයමේ ක්‍රීඩා කළත් කවදාවත් අපිට වඩා ඔවුන් දක්ෂයි කියා ආඩම්බර වුනේ නැහැ. ඔවුන් අපිත් එක්ක ගොඩක් කාලය ගත කළා. අපිට ක්‍රිකට් ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. අපිට ක්‍රීඩාව විඳින්න කියලා දුන්නා. NCC ය හරිම සතුටින් පිරුණු තැනක්.”

“රසල් සෑම විටම පිතිකරණය ඉතා බැරෑරුම් කොට සැලකුවා. ඔහු අඩු ලකුණු ගණනකට අඩු වී එන විට අනෙක් ක්‍රීඩකයින් ක්‍රීඩාගාරයේ විනෝදයෙන් අනවශ්‍ය ලෙස විහිළු කරමින් ඉන්නවා දකින්නට ඔහු කැමති නැහැ. එක්වරක් මමත් ඔහුට හසු වුනා. ඔහු මට පැවසුවා ගිහින් පුහුණුවීම් කරන්න, මෙය විහිළු කරන්න ස්ථානයක් නොවෙයි පිතිකරණය බැරෑරුම් කර ගන්න කියා.”

“මම පළමුවෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරද්දී අරවින්ද ද සිල්වා මෙහි සිටියා. දවසක් ඔහු මම පුහුණුවීම් කරන හැටි දැක්කා. ඔහු කිව්වා මට කෙලින් ඩ්‍රයිව් පහරවල් එල්ල කරන්න බැහැ මම පිත්ත අල්ලන නිසා කියලා. ඔහු හරි මට කෙළින් පහර එල්ල කරන්න පුළුවන් වුනේ නැහැ, මට කවර් ඩ්‍රයිව් පහරක්, කට් පහරක් හා පුල් පහරක් පමණයි තිබුණේ.

ඔහු මට පිත්ත අල්ලන හැටි කියලා දුන්නා. මම මගේ පුහුණුකරුට කිව්වා අරවින්ද අයියා මට කියලා දුන්නා යමක් කියලා. ඔහු කිව්වා අපි කරලා බලමු කියලා. මම එය කළා. ඉතා ඉක්මනින්ම මට කෙළින් පහරවල් එල්ල කරන්නට හැකි වුනා. මට පා ඉන්න පැත්තේ වැඩි පාලනයක් ලැබුණා.”

අරවින්ද අයියා මට පන්දුව බලන හැටි කියලා දුන්නා. හෂාන් තිලකරත්න මට කියලා දුන්නා පිටිය මැද දැඩි වෙන්නේ කොහොමද කියලා. කොහොමද ගොඩක් වෙලා ක්‍රීඩා කරන්නේ කියල.”

“තරගයක් ආරම්භ වෙන්නේ 10ට නම් අරවින්ද අයියා එන්නේ 11ට. සංගා තවත් සුන්දර මතකයක් අවදි කළා. ඉන්පසු ඔහු පන්දුවට පහර දෙන්නට යනවා. ප්‍රතිවාදීන් කරන්නේ ඔවුන්ගේ අදක්ෂම කම්මැළිම පන්දු යවන්නන් අරවින්දට පන්දු යවන්න යොදවන එක. ඉතින් අරවින්දට කම්මැලි හිතෙනවා. ඉතින් අරවින්ද අයියා කරන්නේ මෝඩ පහරක් ගහලා දැවී යන එක.

ඊට පස්සේ ඔහු නැවත ක්‍රීඩාගාරයට ඇවිල්ලා අහනවා ඊළඟට කවුද ගහන්නේ කියලා. අපි කියනවා ඊළඟට ඉන්නේ හෂාන් කියලා. එයා හෙට දවල් 2 වෙනකම් බැට් කරයි. මම ගෙදර යනවා. ඕගොල්ලන්ට මාව අවශ්‍ය වුනොත් දුරකථන ඇමතුමක් දෙන්න කියලා අරවින්ද අයියා ගෙදර යනවා. ආයේ අපි ඔහුව දකින්නේ සෑහෙන දවසකට පස්සෙයි.” සංගා සිනහවක් සමඟින් පවසා සිටියා.

“සමහර වෙලාවල් තිබුණා අරවින්ද ඉතා බැරෑරුම් වුණු. ඔහු අනෙක් අයටත් කලින් පිටියට ආවා. ෂෝර්ට් ලෙග් ස්ථානයේ පන්දු රැක්කා. ඔහු දඟපන්දු යැව්වා. මුරලිට පස්සේ හොඳම පිට දඟපන්දු යවන්නා ඔහුයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ. ඔහු කඩුලු ගත්තා, ශතක හෝ අර්ධ ශතක වාර්තා කළා, පන්දු යවන්නන් විනාශ කළා. මම ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.“

“මට මතකයි පානදුර ක්‍රීඩා සමාජයක් සමඟ අපි තරගයක් ක්‍රීඩා කළා. අරවින්ද පිටියට එන විට මම පිතිකරණයේ යෙදෙමින් සිටියේ. බෘස් යාඩ්ලි කියන පුහුණුකරුවා එවකට දඟපන්දු පුහුණු කඳවුරක් සඳහා ශ්‍රී ලංකාවට ඇවිත් සිටියේ. ඔහු මෙම පානදුර ක්‍රීඩා සමාජයේ එක්තරා යොවුන් වමත් දඟපන්දු යවන්නෙක් ගැන වර්ණනා කරලා තිබුණා. අනිවාර්යයෙන්ම මෙම පන්දු යවන්නා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියලා. අරවින්ද පන්දුවට පහර දෙන්න එන විට එම පන්දු යවන්නා තමයි පන්දු යවමින් සිටියේ.“

“අරවින්ද ඇවිල්ල ඇහුවා මගෙන්, මල්ලී මෙයා ද අර බෘස් යාඩ්ලි කිව්වේ ලංකාවේ හොඳම දඟපන්දු යවන්නා කියලා. මම කිව්වා ඔව් අයියේ මෙයා තමයි කියලා. අරවින්ද අයියා නැවත ගිහින් පන්දුවට පහර දෙන්න ලෑස්ති වුනා.

අර පන්දු යවන්නා පන්දුව යැව්වා, අරවින්ද ගහපු පාරෙන් පන්දුව නැවතුණේ ප්‍රේක්ෂකාගාරයේ පුටු පේළි 20ක් විතර පසු කර ගිහින්. අරවින්ද එම තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළා. අපි ලකුණු 500කට වඩා රැස් කළා, ඒ වගේම ගොඩක්ම බැට කෑවේ අර වමත් දඟපන්දු යවන්නා. ඔහුගේ ක්‍රීඩා දිවිය එතැනින්ම හමාර වුනා.“

“NCC ක්‍රීඩා සමාජය තමයි ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කරන්න පුළුවන් හොඳම ක්‍රීඩා සමාජය. මම එය කියන්නේ මම මේ ක්‍රීඩා සමාජයට ආදරය නිසාම නෙවෙයි. මෙහෙ සංස්කෘතිය හරි වෙනස්. ක්‍රීඩකයෙකුට නිදහස් තිබෙනවා පිටිය මැදට ගොස් ක්‍රීඩාව රස විඳින්නට. කවුරුත් ඔබට බාධා කරන්නේ නැහැ, NCC ක්‍රීඩා සමාජය ක්‍රීඩකයින්ට ආදරය කළා. ඒ නිසාම ක්‍රීඩකයින් ද ක්‍රීඩා සමාජයට ආදරය කළා.“

“අපේ සහෝදර SSC ක්‍රීඩා සමාජය සෑම විට හරිම ඉරිසියාවෙන් අපි දිහා බලන් හිටියා. ඔවුන් අපේ ක්‍රීඩකයින් සමහරක් ද ඔවුන්ගේ ක්‍රීඩා සමාජයට ගත්තා. අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන් අපි වෙනත් ක්‍රීඩා සමාජය සඳහාත් අපේ සහයෝගය ලබා දී තිබෙනවා.“

LEAVE A REPLY