ජනපතිවරණයේ දුන් පොරොන්දු වලින් බොහොමයක් ඉටු කළා ජනපති දුරය අහෝසි කිරීමට බහුතර බලයක් ඇති ආණ්ඩුවක් දෙන්න – රනිල්

0
61

පසුගිය ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දුවලින් බොහොමයක් මේ වන විට ඉටු කර තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සහ වාර්ගික ගැටලූව සඳහා දේශපාලන විසදුමක් ලබාදීමට වූ පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා වරම අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

පසුගිය වසර කිහිපය තුළ දී ඒකාබද්ධතාව හා ශ්‍රී ලංකික අනන්‍යතාවය ඇති කිරීමට හැකි වූ බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 05ක කාලය තුළ දී එය තවදුරටත් තහවුරු කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ පසුගිය 10 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති භාෂා පුහුණුකරුවන් දිශාභිමුඛගත කිරීමේ ජාතික වැඩසටහන යටතේ දීපව්‍යාප්තව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ කාර්යය සඳහා සුදුසුකම් සැපිරූ පුද්ගලයන් වෙත පුහුණුව සඳහා කැදවීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි.

මෙහිදී සුදුසුකම් සැපිරූ 1200 ක් වෙනුවෙන් කැඳවීමේ ලිපි ප්‍රදානය කෙරුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති, “පසුගිය සෙනසුරාදා දින මා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. 2009/2010 වසරවල තිබූ තත්වයට වඩා වෙනස් යාපනයක් දෙමළ ජනතාව පමණක් නොව සිංහල ජනතාවත් දැන් යාපනයේ ජීවත් වෙනවා.

ජාතික ගීය සිංහලෙන් පමණක් නොව දමිල භාෂාවෙන් ද ගායනා කිරීමට අපි යෝජනා කළා. ඇතමුන් එම යෝජනාව අර්ථ දක්වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට රට භාරදීමක් ලෙසයි. ඩී.එස්. සේනානායක මැතිතුමා ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට පියවර ගත්තා. 1981 දී අධ්‍යාපන හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස මම යාපනයේ සංචාරය කළා. එහිදී ජාතික ගීය සිංහල භාෂාවෙන් මෙන්ම දෙමළ භාෂාවෙන් ද ගායනා කළා. එකල එය කිසිවෙකුටවත් ප්‍රශ්නයක් වුණේ නැහැ.

පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා 1915 කෝලාහල ඇතිවූ අවස්ථාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා මුණගැසී සිංහල බෞද්ධ ජාතිකයෙකු වූ පේදිරිස් මැතිතුමාගේ ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලා සිටියා. එදා ඔහු පේදිරිස් මැතිතුමාගේ බරට සමානව රත්රන් ලබාදීමට කැමැති බවත් ඉංග්‍රීසි රජයට දැනුම් දුන්නා. නමුත් එම ඉල්ලීම බ්‍රිතාන්‍ය ආණ්ඩුව පිළිගත්තේ නැහැ.

ඒ ආකාරයට යටත් විජිත යුගයේ සිටම සහයෝගයෙන් යුතුව රටේ සියලූ දෙනාම වැඩකටයුතු සිදු කළා. නිදහස වෙනුවෙන් සියලූම ද්‍රවිඩ මන්ත්‍රීවරුන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී ඡන්දය ලබාදීමට පියවර ගත්තා. 1946 ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව සියලූ දෙනාම ඡන්දය ලබාදුන්නා. ඒ ආකාරයට කටයුතු කරමින් නිදහස් ශ්‍රී ලංකාවක් ඇති කිරීමට ඔවුන් පියවර ගත්තා යනුවෙන් පවසනවා.

LEAVE A REPLY