කොරෝනා හැදුනේ මාධ්‍යවේදීන් 5 කටයි අනෙක් අය PCR කලත් ආසාදනය වී නැ. ඒත් පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට තහනම්

0
155

පසුගිය දින කිහිපයද පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු පැවැත්වුණේ මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයකින් තොරවයි.

පාර්ලිමේන්තු වාර්තාකරුවන් 05 දෙනෙකු පසුගිය දිනවල කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම ඊට ප්‍රධාන හේතුව වුණා.

කෙසේ වෙතත් ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස සලකා එම සියළු මාධ්‍යවේදීන් PCR පරීක්ෂණ මෙන්ම ස්වයං නිරෝධායනයට ද යොමු කරවීමටයි කටයුතු කර තිබුණේ.

මෙවන් පසුබිමක කොවිඩ් තත්ත්වය පාදක කරගනිමින් පාර්ලිමේන්තුවේ සභා කටයුතු මාධ්‍යවේදීන් වෙත විවෘත නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

තත්ත්වය එසේ වුවද 2020 නොවැම්බර් මස 9 වන දින පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා වෙත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයක් උපුටා දක්වමින් යොමුකළ ලිපියේ පැහැදිලිව නැවත දැනුම් දෙන තෙක් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් තොරව පාර්ලිමේන්තු රැස්වීම සඳහා පියවර ගත් බවට පැවසීම සහ අද දින පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ සන්නිවේදන විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ හෙට දින මාධ්‍යවේදි ගැලරිය වසා තැබෙනු ඇති බවයි.

ලියුම්කරු පාර්ලිමේන්තු සැසියක් වාර්තා කරමින්

දශක කිහිපයක ඉතිහාසයකට හිමිකම් කියන පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සමඟ කිසිදු අදහස් විමසීමකින් තොරව මෙලෙස ක්‍රියාකිරිම සදාචාර විරෝධී වේ.

මේ වනවිට අපරට නව සාමාන්‍යකරණයකට (New Normal) ලක්ව ඇත. එවන් පසුබිමක පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ඉලක්ක කරගත් මෙම තීරණය කිසිලෙසකින් සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ විශ්වාසයයි. විශේෂයෙන්ම මුදල් අමාත්‍ය,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට දින අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පැවැත්වීමට පවා මේ වනවිට තීරණය වී ඇත.

මෙය ජනතාවගේ මූලික අයිතියක් වන තොරතුරු දැනගැනීමේ අයිතියට වැට බැඳීමේ මූලික පියවරක් බව ජනමාධ්‍ය නිදහස අගයන මාධ්‍යවේදීන්ගේ අදහසයි.

හෙට සිට ඇරඹෙන 2021 වසරට අදාළ අයවැය දෙවන හා තෙවනවර කියවීම සඳහා වන විවාදය දෙසැම්බර් 10 දක්වා පැවැත්වෙනවා.

රටේ මූල්‍ය බලය ක්‍රියාත්මක කෙරෙන ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරීත්වය පිලිබඳව මහජනතාවට තොරතුරු දැනගැනීමට ඇති මූලික අයිතිය අහුරා දැමීමට ගෙන ඇති පියවර වහාම හකුළා ගැනීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ට බලකර සිටිමු.

මාධ්‍යවේදි තුෂාර වීරරත්න

LEAVE A REPLY